අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 7:03:09 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සුඩානයේ සාමය සඳහා කැපවීමෙන්, සුඩාන ළමුන් මිලියන භාගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර ඇතිව පාසැල් යති: තානාපති

  • info134
  • 169379934370671892
  • 2736356053388764344

බින්සාල් අබ්දුල් කාදර් විසිනි අබුඩාබි, 2020 සැප්තැම්බර් 5 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යය විවිධ සුඩාන කැරලිකාර කණ්ඩායම් සාකච්ඡා මේසයට ගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ සුඩානයේ සාම ගිවිසුමට මඟ පෑදූ බව සුඩානයේ ඉහළ පෙළේ තානාපතිවරයෙක් එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සියට (Emirates News Agency, WAM) ප්‍රකාශ කර තිබේ.

"සුඩානයේ සාම ගිවිසුම සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

ඔවුන් මුල සිටම සාකච්ඡා සමීපව අනුගමනය කළ අතර තවත් පාර්ශවයන් සාකච්ඡා මේසයට ගෙන ඒමට සහාය ලබා දී තිබේ." යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුඩාන තානාපති Mohammed Amin Abdullah Al-Karib මහතා පසුගිය බ්‍රහස්පතින්දා (03) පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බවට පවසා තිබේ.

සුඩානයේ සංක්‍රාන්ති රජය සමඟ සම්බන්ධීකරණයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැදගත් සුඩාන කන්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා සාම සාකච්ඡාවලට සම්බන්ධ වීමට ඔවුන්ට ඒත්තු ගැන්වූ බවට ඔහු පවසා තිබේ.

"සුඩාන සාම සාකච්ඡාවල සාර්ථකත්වය සඳහා මෙය තීරණාත්මක උත්සාහයක් වූ අතර සාම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රකාශයන් සුඩාන නායකයින් අගය කිරීමට ලක්කර තිබෙන බවට ද." Al-Karib මහතා සඳහන් කර තිබේ.

අගෝස්තු 31 වන දින සුඩානයේ සංක්‍රාන්ති රජය ගැටුමෙන් විනාශ වූ රාජ්‍යයන් වන බ්ලූ නයිල් (states of Blue Nile), ඩාර්ෆූර් (Darfur) සහ දකුණු කෝර්ඩෝෆාන් (South Kordofan) ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල කැරලිකාර ක්‍රියාවන්වල නිරතව සිටින කණ්ඩායම් සමඟ සාම ගිවිසුමක් අත්සන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට (United Nations) අනුව, 2003 දී ආරම්භ වූ ඩාර්ෆූර්හි ගැටුමෙන් සිවිල් ගැටුමෙන් 300,000 ක් පමණ මිය ගොස් මිලියන 2.7 ක් පමණ වැසියන් අවතැන් වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (the Gulf Cooperation Council) සහ ප්‍රධාන ලෝක රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම ගිවිසුම පිළිගෙන තිබේ.

"දැන් සුඩානයේ යුද්ධයක් ඇති නොවනු ඇත. ගැටුම් සඳහා වැය කරන මුදල් හා උත්සාහයන් සංවර්ධන ව්‍යාපෘති සඳහා හරවා යැවිය හැකිය. ජනතාව මේ මොහොත එනතුරු බලා සිටියහ." යනුවනේ සාම ගිවිසුමේ ක්ෂණික බලපෑම ගැන කතා කරමින් තානාපති Al-Karib මහතා මෙලෙස අදහස් පළ කර තිබේ.

"මෙම ගිවිසුම අද්විතීය වන්නේ ගිවිසුමට අත්සන් තැබූ සියලුම සන්නද්ධ කණ්ඩායම්, මීට පෙර Omar Hassan Al-Bashirගේ පාලන තන්ත්‍රයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කොටසක් වූ අතර (ඔහු 2019 දී බලයෙන් පහ කරන ලදි). එමෙන්ම, ඔවුන් වර්තමාන සංක්‍රාන්ති රජයට එරෙහිව සටන් කළේ නැත." යනුවෙන් තානාපතිවරයා පැහැදිලි කළේය.

1955 වසරේ සිට සුඩානයේ අත්සන් කරන ලද ඒ හා සමාන ගනුදෙනු සියල්ලම රජය සහ ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායමක් අතර හෝ සටන් කරන කණ්ඩායම් දෙකක් අතර වූ බව Al-Karib මහතා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තුළ මෙම සාම සාකච්ඡා පැවැත්වූ අතර ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම අංශයකින්ම පාහේ සහයෝගය ලැබුණු බව තානාපතිවරයා ඉස්මතු කර පෙන්වා දී තිබේ.

අසල්වැසි දකුණු සුඩානය ඔවුන්ගේම අභියෝග මධ්‍යයේ වුවද, COVID-19 වෛරස් වසංගතයට එරෙහිව සටන් වදින අතර, ඔවුන් විසින් ද සාම සාකච්ඡා සඳහා පහසුකම් සැපයීම තමන් විසින් ඉතාමත් අගය කොට සලකනු ලබන බවට ද ඔහු පවසා තිබේ. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අප්‍රිකානු කලාපීය සංවිධාන ද වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව තානාපතිවරයා පවසා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුඩාන විදේශිකයන් සාම ගිවිසුම පිළිබඳව ප්‍රීතියට පත්වී සිටින අතර ඔවුන් සමාජ මාධ්‍ය සහ සුඩාන මාධ්‍ය හරහා ඉතාමත් සතුටින් පණිවුඩ යවමින් සිටින බව Al-Karib මහතා පෙන්වා දී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුඩාන වැසියන් 100,000 ක් සහ තවත් සුඩාන සම්භවය ලත් විදේශීය පුරවැසියන් 5,000 ක් ජීවත් වන බවට ගණන් බලා තිබේ.

සංක්‍රාන්ති රජය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී පිහිටුවන ලද බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ඉතා වැදගත් විය. එමිරේට්ස් සහ සවුදි අරාබිය එක්ව සුඩාන රජයට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.5 බැගින්) මූල්‍ය ආධාර ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"එය හොඳින් සිදුවෙමින් පවතී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාරයෙන් සුඩාන ළමුන් මිලියන භාගයක් පමණ දැන් පාසැල් යමින් සිටිති" යනුවෙන් ඔහු අනාවරණය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයේ මානුෂීය ප්‍රයත්නයන් සඳහා විශාලතම දායකත්වය සපයයි. COVID-19 වසංගතය සමඟ සටන් කිරීම සඳහා එමිරේට්ස් විසින් වෛද්‍ය සැපයුම් ටොන් 80 කට වඩා වැඩි ප්‍රමාණයක් සුඩානය වෙත ලබා දෙන ලදී.

"මෙය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ආධාරයට අමතරව ලබා දුන් ආධාරයන් ද වේ."

"එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයේ ආර්ථික ආධාර, මානුෂීය සහයෝගය සහ සාම ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමණයට සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීම අරමුණු කරගත් සුඩානයේ මිත්‍රයන් ලෙස හැඳින්වෙන ආණ්ඩු සහ බහුපාර්ශ්වික සංවිධාන සමූහයක් තුළ එමිරේට්ස් රජය ඉතා ක්‍රියාකාරී වී ඇත." යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.

"අප කතා කරමින් සිටියදී, පසුගිය සති කිහිපය තුළ ගංවතුර තත්ත්වය දුටු එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සුඩානයට ඉතා විශාල ප්‍රනබයක් වූ සහන භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සයලු පියවරයන් ගෙන තිබීම ඉතාමත් අගය කිරීමට ලක්විය යුතු කරුණක් බවට ද ඔහු ප්‍රකාශ කර තිබේ. එවැනි මානුෂීය උත්සාහයන් දශක ගණනාවක් තිස්සේ නතර වී නැත. සුඩානයේ මානුෂීය අර්බුදයක් පවතින සෑම අවස්ථාවකදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට පෙරමුණ ගෙන සිටී.

මෙම ගැඹුරු සම්බන්ධතාවය ආරම්භ වූයේ 1960 දශකයේ දී සුඩානය එමිරේට්ස් වෙත පැමිණීමට පටන් ගත් දා සිට ය. 1971 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවන විට සුඩාන වැසියන් තම එමිරාටි සහෝදරයන් සමඟ විශිෂ්ට සබඳතා ඇති කර ගත් අතර වැදගත් ආයතන රාශියක් පිහිටුවීමට දායක වී තිබේ. එහෙත්, සුඩාන ජාතිකයින් නොමැතිව ඔබට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කිසිදු වැදගත් වෘත්තීය ක්ෂේත්‍රයක් සොයාගත නොහැක." යනුවෙන් ද තානාපති Al-Karib මහතා මෙලෙස සිය අදහස් පළ කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිගත් පළමු රටවල් අතුරින් එකක් සුඩානය වන අතර 1971 වසරේ දී එමිරේට්ස් වෙත ගිය පළමු රාජ්‍ය නායකයින්ගෙන් එවකට සුඩාන ජනාධිපතිවරයා ද ඇතුලත් වන බවට ද ඔහු පෙන්වා දී තිබේ. අභාවප්‍රාප්ත ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් මහතා 1972 වසරේ දී සුඩානයේ සංචාරය කළ අතර සුඩානයේ යටිතල පහසුකම්, කෘෂිකාර්මික හා අධ්‍යාපන යන අංශවල සංවර්ධන ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයීමට සහාය වූ බව ඔහු සඳහන් කළේය.

"සුඩාන ජනතාවගේ යහපැවැත්ම ගැන සැමවිටම සැලකිලිමත් වීම ගැන අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිවන්ත වෙමු." තානාපතිවරයා පැවසීය.

http://wam.ae/en/details/1395302867597 WAM / සිංහල

WAM/Sinhala